+94 112 886 585 - 86 info@ssb.gov.lk Mon - Fri: 8:30 AM - 4:15 PM
Sri Lanka Social Security Board Logo

ජාත්‍යන්තර නාවිකයන්ගේ දිනයට සමගාමීව "නාවිකයා" සමාජ ආරක්ෂණ යෝජනාක්‍රමය ඩිජිටල්කරණ විප්ලවය ඇරඹේ
2026-06-25


ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් මෙරට ආර්ථිකයට සුවිශාල විදේශ විනිමයක් දායක කරන වෙළඳ නාවික ප්‍රජාවගේ අනාගත මූල්‍ය සුරක්ෂිතතාව සහ ගෞරවාන්විත විශ්‍රාම දිවිය වෙනුවෙන්ම හඳුන්වා දී ඇති "නාවිකයා" සමාජ ආරක්ෂණ යෝජනාක්‍රමයේ නවතම මාර්ගගත ලියාපදිංචි වීමේ සුවිශේෂී ඩිජිටල් සේවා පහසුකම නිල වශයෙන් දියත් කිරීම 2026 ජූනි මස 25 වන දිනට යෙදුන ජාත්‍යන්තර වෙළඳ නාවිකයන්ගේ දිනයට සමගාමීව බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී පැවැත්විය.

ඒ අනුව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ www.ssb.gov.lk නිල වෙබ් අඩවිය ඔස්සේ ක්‍රියාත්මක වන නව මාර්ගගත පද්ධතිය විවෘත කළ අතර, එමගින් ලෝකයේ ඕනෑම සාගරයක හෝ විදේශීය වරායක රාජකාරියේ නිරත වන නාවිකයින්ට කිසිදු බාධාවකින් තොරව ක්ෂණිකව මෙම යෝජනාක්‍රමය හා සම්බන්ධ වීමේ සුවිශේෂී අවස්ථාව උදාවේ.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) සමුද්‍රීය කම්කරු සම්මුති ප්‍රමිතීන්ට (MLC) අනුකූලව සකස් කර ඇති මෙම යෝජනාක්‍රමය, කාර්යබහුල නාවිකයින්ගේ ජීවන රටාවට මැනවින් ගැළපෙන පරිදි නම්‍යශීලී ගෙවීම් ක්‍රමවේද යටතේ ක්‍රියාත්මක වේ. ඒ අනුව මෙමගින් මෙරට වෙළඳ නාවිකයින්ගේ සමාජ ආරක්ෂණය සඳහා,
• විශ්‍රාම ප්‍රතිලාභ
• යැපෙන්නන්ගේ රැකවරණය සඳහා වූ ප්‍රතිලාභ
• අකර්මණ්‍ය වීමකදී අවශ්‍ය රැකවරණය සඳහා වූ ප්‍රතිලාභ
• රැකියාව හෝ ඉන් පරිභාහිරව ඇතිවන්නා වූ අබලතාවන්ට සහනයක් සැපයීම සඳහා වූ ප්‍රතිලාභවලින් සමන්විතය.

මෙම ඩිජිටල් පරිවර්තනය හරහා මෙතෙක් පැවති සංකීර්ණ ලිපි ලේඛන බාධාවන් ඉවත්වන අතර, සිය සමාජ ආරක්ෂණ සැලසුම ඉතා පහසුවෙන් ආරම්භ කිරීමට මෙන්ම එය පවත්වාගෙනයාම තමාටම ඍජුවම සිදු කර ගැනීමේ අවස්ථාව ලැබේ.

මෙම සේවාව එළිදැක්වීමේ අවස්ථාව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නාලිකා පියසේන මහත්මිය, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති එම්.කේ.බී.දිසානායක මහතා සහ සාමාන්‍යාධිකාරී කල්හාරි ද සිල්වා මහත්මිය, වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අසංග දේශප්‍රිය මහතා ඇතුළු ඉහළ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර වෙළඳ නාවික ක්ෂේත්‍රයේ නියෝජිත ආයතන නියෝජිතයින්, බලපත්‍රලාභී වෙළඳ නාවිකයින් බඳවා ගැනීමේ සහ සේවා සැපයීමේ නියෝජිත ආයතන මෙන්ම වෙළඳ නාවිකයින් විශාල පිරිසක් ද මෙම අවස්ථාව සඳහා එක්විය.