සමාජ ආරක්ෂණයට කැප වූ නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරීන් අගයයි!
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම ප්‍රවර්ධනය කරමින්, සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම සමාජ ආරක්ෂණය තහවුරු කිරීමේ උදාර මෙහෙවර වෙනුවෙන් කැප වූ නිලධාරීන් අගයමින් සංවිධානය කළ "නැගෙනහිර පළාත් සමාජ ආරක්ෂණ සම්මාන උළෙල - 2026" පසුගිය නොවැම්බර් 05 වන දින මඩකලපුව, ගෝල්ඩන් රිවර් හෝටලයේදී (Golden River Hotel) අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. දිස්ත්‍රික්, ප්‍රාදේශීය සහ ක්ෂේත්‍ර මට්ටමින් සමාජ ආරක්ෂණ වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම සඳහා සුවිශේෂී කැපවීමක්, උනන්දුවක් සහ විශිෂ්ට දක්ෂතා දැක්වූ නිලධාරීන්ගේ සේවය අගයමින් සම්මාන ප්රදානය කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති එම්.කේ.බී. දිසානායක මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ද, සාමාන්‍යාධිකාරී කල්හාරි ද සිල්වා මහත්මිය විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් ද සහභාගී වූ මෙම උළෙල සඳහා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා නියෝජනය කරමින් පෞද්ගලික සහකාර සමරකෝන් බණ්ඩාර මහතා, අම්පාර දිස්ත්‍රික් ලේකම් අනුපම මංගල වික්‍රමාරච්චි මහතා, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ජේ.එස්. අරුල්රාජ් මහතා සහ සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය) එස්.එම්. වීරසේකර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්වූහ. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම්වරුන්, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් සහ නැගෙනහිර පළාත් කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.











































